දිනාගත් සේවක ජයග්‍රහණ ආපසු හැරවීමට ඉඩ නොතබමු.

PDF Letter

සහෝදර / සහෝදරිය,

ඔබ අප දන්නා පරිදි අප ආයතතනයේ කලමනාකාරිත්වයේ හිතුවක්කාර පාලනයට එරෙහිව ඔබ සියලු දෙනාගේම සහයෝගය මත වෘත්තීය සමිති අරගලයක නිරත වූයෙමු. එහිදි ඔබ දැක්වු අපමණ කැපවීම හා දායකත්වය මත අප ජයග්‍රහණයන්ද ලබාගත්තෙමු. එයට අපගේ විප්ලවීය ආචාරය ඔබ සැමට පුදකරමු. අප කැපවීමෙන් ලබාගත් ජයග්‍රහණ සමහර හොරිකඩ වෘත්තීය සමිති විසින් මෙන්ම දුෂිත කලමනාකාරිත්වයේ පාලකයන් එක්ව දියාරු කිරීමට සහ ආපස්සට හැරවීමටද කැස කවමින් සිටියි. එය පසුගිය කාලය පුරාවටද  අප අත්විඳ ඇත්තෙමු.

පාලකයින් විසින් සමහර වෘත්තීය සමිති හොරිකඩයන්හට විදේශ සංචාර ලබාදෙමින්, සේවක අයිතිවාසිකම් කප්පාදුවට උත්සාහ ගත් එක් අවස්ථාවක් වන්නේ මෙතෙක් දවසක් අපහට වාර්ෂිකව ලබාදුන් වැටුප් වැඩිවීම 5 % දක්වා අඩුකිරීමට කටයුතු කිරීමයි. එහෙත් එය අප සේවක ශක්තිය හමුවේ පරාජය කරමින් වාර්ෂික වැටුප් වැඩිවීම 10 % ක් දක්වා වැඩි කර ගැනීමට, වාර්ෂික සුවතා වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමට හැකිවීම අපගේ මුල් ජයග්‍රහණයයි.  එමගින් නොනැවතුනු අප සේවක ශක්තිය සමගින් තවත් ඉල්ලීම් කිහිපයක් ලබාගැනීමට හැකිවිය.

  1. සේවා කාලය 8.30 – 16.30 ලෙස අධ්‍යක්ෂක මණ්ඩලයට යොමුකොට අඩුකර දීමට සභාපතිවරයා එකඟතාවය පල කිරීම.
  2. නේවාසික වෛද්‍යාධාර මුදල් රුපියල් ලක්‍ෂ 04 දක්වා වැඩිකිරීම.
  3. නිවාස ණය පොළී සහන ප්‍රතිපූරණය රුපියල් ලක්‍ෂ 10 සිට රුපියල් ලක්‍ෂ 30 දක්වා වැඩි කිරීම.
  4. වසර 25 කට වඩා වැඩි සේවා කාලයක් ඇති සේවකයින් ඇගයීමකට ලක්කිරීම.
  5. සමස්ථ උසස්වීම් ප්‍රමාදය වසර 10 කට වැඩි සේවකයින් සඳහා ඊළග ශ්‍රේණියට උසස්වීම ලබා දීම.
  6. අමාත්‍යංශ ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ ත්‍රිපුද්ගල විද්වත් කමිටුවක් පත්කොට මාස 03 ක් ඇතුලත අනෙකුත් සියළු ගැටළුවලට (වැටුප් විෂමතාවය, ප්‍රවාහන දීමනාව, SRPS ක්‍රියාත්මක කිරීම, දුෂණ හා වංචා විමර්ශනය කිරීම, Out Source කිරීම සම්බන්ධව) විසඳුම් ලබා දීම.

ඉහත කරුණු  පිලිබදව 2017-01-07 වන දින විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී ගරු ස්ථිර ලේකම් තුමා, ගරු සභාපති තුමා, ගරු අධ්‍යකෂක මණ්ඩල සාමාජිකතුමා සහ තවත් විශේෂ නිලධාරින් සමඟද 2017-01-11 දින විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා සහ ගරු සභාපති කුමාරසිංහ සිරිසේන මැතිතුමා සමඟ පැවැති සාකච්ජාවේදී එකඟතාවලට එළඹීය. එහෙත් එම එකඟතාවයන් අද වනවිට ඒකපාර්ශවීය ලෙස බිඳ දමමින් සිටී. එබැවින් එම ලබාගත් ජයග්‍රහණ කිසිවෙකුටත් ආපස්සට හැරවීමට ඉඩදිය යුතුද? නැත. එකඟතාවයන් බිඳ දමන්නේනම් කුමක් කලයුතුද යන්න සියලු දෙනාම තීරණය කල යුතුව ඇත. අපහට හිමි වියයුතු අයිතිවාසිකම් අරගල තුලින් ලැබුවත් එය දීමට පාලකයින් අකමැතිනම් ඉදිරියේදී අපගේ අයිතිවාසිකම් කිසිත් නොලබා අප වහලුන් බවටද පත්විය හැකිය. එබැවින් ඔබ සිටින වෘත්තීය සමිතිය හෝ ඔබගේ ඉහල නිලධාරියා හෝ ඔබගේ අයිතිවාසිකම් අහිමි කිරීමට කටයුතු කරන විට ඔබ නිහඩව නොසිටිය යුතුය. ඔවුනට එරෙහිව පෙල ගැසිය යුතුය. ඔබගේ වැටුපෙන් මුදල් ගෙවන, ඔබගේ ඡන්දයෙන් පත්වුනු වෘත්තීය සමිති නායකයින් ඔබගේ අයිතිවාසිකම් කපා හරිමින් ඔවුන්ගේ පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් පමණක් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිවීමද ඔබ සතු වගකීමකි. එම හොරිකඩයන් ඉවත්කිරීමද ඔබට බාරය. 2017-01-25 තෙක් ඉවසා සිටිනවාද? එසේ නොමැතිනම් අපගේ දරුවන්ගේ සහ අපගේ අනාගතය ගැන සිතනවාද? එසේ සිතා අප අරගල කර අපගේ අනාගතය සුරක්ෂිත කිරීමට පෙල ගැසීමට දායකත්වය ලබාදෙමුද? අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැති බවත් සියලු දෙනාගේ කැපවීම ඉදිරියේ නිවට වෘත්තීය සමිති හොරිකඩයන් පරාජය වන බවත් සේවක පෙලගැස්ම තුල පාලකයන්ගේ කෘරත්වය අඩපණ කල හැකිබවත් අප පෙන්වාදිය යුතුය. ඒ සඳහා සේවක ශක්තිය පෙල ගැස්වීමට එකතුවෙමු. අපි සැමදා ඔබ සමඟ සිටින්නෙමු. ජයග්‍රහණය කරා පියනගමු.

 

සුරකිමු ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ

Protect Sri Lanka Telecom Trade Union Front

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *